The LibrarySL

The LibrarySL

A podcast dedicated to educational contents

Episodes

  1. 01/12/2021

    Sadikka ( Nutmeg - Myristica fragrans)

    ශ්‍රී ලංකාවේ කුළුබඩු අතුරින් ගම්මිරිස් හා කුරුඳු හැරුණ විට ඉතා වැදගත් ස්ථානයක් හිමිවන බෝගයක් ලෙස සාදික්කා සැලකිය හැකිය. මෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ මේ බෝගය මඟින් සාදික්කා හා වසාවාසි ලෙස කුළුබඩු ආකාර දෙකක්ම ලබාගත හැකිවීමයි. මෙහි ඵලයෙහි බීජයේ ඇති මදය නැතහොත් භ්‍රෑණ පෝෂය සහ කලලයේ එකතුව සාදික්කා ලෙස හඳුන්වයි. එම බීජය වටා දැලක් ලෙස පිහිටා ඇති තරමක් ප්‍රත්‍යස්ථ ස්වභාවයක් ගන්නා රතු පැහැති ආවරණය නැතහොත් බීජ කවචය වසාවාසි ලෙස හඳුන්වයි. මේ නිසා සාදික්කා අනෙකුත් කුළුබඩු බෝගවලට වඩා වැදගත් අපනයන කෘෂිකර්ම බෝගයකි. පාරිසරික සාධක හා ව්‍යාප්තිය සාදික්කා ඝර්මකලාපීය රටවල පමණක් හමුවන සදාහරිත බෝග ශාක විශේෂයකි. ප්‍රධාන වශයෙන් ග්‍රෙනෙඩාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව යන රටවල බහුලව වගා කෙරේ. ශ්‍රී ලංකාවේ මැදරට ප්‍රදේශයේ තෙත් හා අතරමැදි කලාපවල පහසුවෙන් වගා කළ හැකිය. වසර පුරා හොඳින් විසිරුණ වර්ෂා පතනයක් සහිත (මි.මී. 1500 – 2000), ජලය හොඳින් බැසයන කාබනික ද්‍රව්‍ය බහුලව ඇති පසක් සහිත ප්‍රදේශ ඉතාමත් සුදුසු වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙ.ග්‍රේ. 25 – 27 පරාසයක් සහිත ප්‍රදේශ වඩාත් හිතකර වේ. ක්ෂේත්‍රයේදී මුල් වසර 4 -5 කාලය තුල ප්‍රමාණවත් පරිදි සෙවණ තිබිය යුතු අතර, එය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩුවී ඉන් පසු කාලයේදී වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා හොඳින් සූර්යාලෝකය ලබාදිය යුතුවේ. සාදික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ මෙම ශාකය සදාහරිත, සාපේක්ෂව විශාල ලෙස වැඩෙන වෘක්ෂයක් වන අතර මීටර් 15 -20 පමණ උසට වර්ධනය විය හැකිය. බීජ මඟින් ඇතිවන ශාකයේ ඍජුව ඉහලට වැඩෙන ප්‍රධාන කඳක් සහ ඉන් හරස් අතට ඇතිවන හරස් අතු ගණනාවකින් යුක්තය. වියන බොහෝවිට කේතු ආකාර හැඩයක් ගන්නා අතර ඇතැම්විට ගෝලාකාර විය හැකිය. පත්‍ර සරලය. ඒකාන්තර වින්‍යාසයක් පෙන්වයි. මතුපිට පෘෂ්ටය තද කොළ පැහැයක් ගනී. පුෂ්ප කහ පැහැතිය. තරමක මාංසලය. ඉතා කුඩාය (සෙ.මී. 1 ක් පමණ). සාදික්කා ශාකය ද්විගෘහි වේ. එනම් එක් ශාකයක හටගන්නේ පූමාංගී (පුරුෂ) හෝ ජායාංගි (ස්ත්‍රී) පුෂ්ප වර්ගවලින් එක් ආකාරයක් පමණි. මේ නිසා පුෂ්ප අනිවාර්යයෙන්ම ඒක ලිංගික වේ. ඉතාමත්ම කලාතුරකින් ඒක ගෘහී ශාක හමුවේ. එනම් එම ශාක වල පූමාංගී සහ ජායාංගී පුෂ්ප එකම ශාකයේ හටගනී. පුෂ්ප ආකාර දෙකම එකම කාලයේ හටගන්නා අතර හැමවිටම සිදුවන්නේ පර පරාගනයකි. ඵලය මාංසලය. අෂ්ටිලයකි. තනි බීජයක් සහිතය. ගෝලාකාර හෝ ඕවලාකාර හැඩයක් ගනී. කුඩා කාලයේ ළා කොළ පැහැයක් ගන්නා අතර හොඳින් මේරූ විට කහ හෝ තැඹිලි පැහැයක් ගනී.අතු වල එල්ලී ඇති ඵල හොඳින් මේරූ විට පහළ කෙළවරින් පමණක් ඵලාවරණය කොටස් දෙකකට වෙන්වන ලෙස පුපුරා විවෘත වන අතර එවිට ඇතුළත ඇති දුඹුරු පැහැති බීජය සහ ඒ මත තද රතු පැහැති දැළක් ලෙස පිහිටන බීජ කවචය (වසාවාසි) ඉතාමත් අලංකාර ලෙස දිස් වේ. ඵලාවරණය සාපේක්ෂව ඝනකම් හා මාංසල වන අතර කහ පැහැතිය. බීජ කවචය අතු බෙදුන දැලක් ලෙස බීජාවරණය මත පිහිටයි. තරමක් ප්‍රත්‍යස්තය. බීජාවරණය තද දුඹුරු පැහැතිය. තුනී ශක්තිමත් කටුවකි. බීජය තුල ඇති මදය ලෙස හඳුන්වන ලා දුඹුරු පැහැති ව්‍යුහය සාදික්කා වල වැදගත්ම කොටසයි. මෙහි අධික ලෙස තෙල් අඩංගු වේ. මේ කොටස සැදී ඇත්තේ කළලය සහ භ්‍රෑණපෝෂය එකතුවීමෙනි. ඖෂධීය ගුණ උදරයෙහි වාතය එකතු වීම, ඔක්කාරය, වමනය, පාචනය, කුසගිනි මදිකම, අජීර්ණය, මුඛ රෝග, පීනස, ඉක්කා, ඇදුම ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට සාදික්කා මදය භාවිතා කරයි. එමෙන්ම පිලිකා, වකුගඩු රෝග, නින්ද නොයාම, ඔසප් දෝෂ, වේදනාව සමනය කිරීම ආදිය සදහා ද විවිධ රටවල ජනයා සාදික්කා භාවිතා කර ඇත. අජීර්ණය සෑදී මල බුරුලෙන් පිටවන විට සාදික්කා මදයක සුළු ප්‍රමාණයක් දෙහි ඇඹුලෙන් හෝ ලුණු වතුරින් උරච්චිකර පානය කිරීම ප්‍රශස්ථ ප්‍රතිකාරයකි. එය වමනය, බඩේරුජා, පණු රෝග ආදියටද ගුණදායකය. සාදික්කා විෂබීජයන්ට  සහ පිලිකා සෛලවලට ප්‍රතිවිරොධී ගුණ දක්වයි. රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. සාදික්කා අධි මාත්‍රාව විෂ සහිතය. එයින් මරණය පවා සිදු විය හැකිය.

    Sadikka ( Nutmeg - Myristica fragrans)

About

A podcast dedicated to educational contents